Saturday, August 16, 2014


පේරාදෙනිය විශ්වවිද්‍යාලයට කළමනාකරණ පීඨයක අවශ්‍යතාවය වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසුන් සටන් ආරම්භ කර මේ වන විට දශකයකින් අඩකටත් වඩා ගත වී ගොසිනි. පාලකයින් දේශපාලන වාසි තකා තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම නිසා පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ව්‍යාපාර පරිපාලනවේදය හැදෑරීමට පැමිණි වසර කණ්ඩායම් දෙකක්ම මේ වන විට කළමනාකරණ පීඨයක් නොමැතිව විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් ඇත. 2008 වසරේදී ව්‍යාපාර පරිපාලනවේදය සදහා පළමු වන කණ්ඩායම බදවා ගන්නා විට ඔවුන් සදහා ඉතා ඉක්මනින් පීඨයක් ලබා දෙන බවට පරිපාලනය විසින් පොරොන්දු ලබා දෙනුයේ කළමනාකරණය හැදෑරීමට තිබිය යුතු අවම පහසුකම් වත් විශ්වවිද්‍යාලය තුළ නොතිබෙන කාලවකවානුවකදීය. අදාල කාලසීමාව තුළ විශ්වවිද්‍යාල ආචර්යවරුන් ප්‍රකාශ කර ඇත්තේ අත්හදා බැලීමක් සිදු කිරීම සදහා අදාළ සිසුන් විශ්වවිද්‍යාලයට බදවා ගත් බවයි. එවැනි ප්‍රකාශ හමුවේ සිසු සිසුවියන්ගේ අධ්‍යයන මානසිකත්වය කුමන මට්ටමක පසුවන්නට ඇත්දැයි ඕනෑම පුද්ගලයෙකුට සිතා ගත හැකිය. එය උගත් බුද්ධිමත් ආචාර්‍යවරුන්ට නොතේරීම අර්බුදයකි. උපධිය ආරම්භ කර වසර ගණනාවක් යනතුරුත් උපාධිය සදහා අවශ්‍ය පොත්පත් පවා ලබා ගනුයේ ශිෂ්‍ය සටන් ඔස්සේය.2008 වසරේදී ඉදි කිරීමට ආරම්භ කරන ලද පීඨයේ මූලික ගොඩනැගිල්ලේ වැඩ කටයුතු වසර හතක කාලයක් යන තුරුත්, එනම් මේ වන විටත් නිමා කර නොමැත. ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පිලිබදව සැකසහිත බැවින් එහි අධ්‍යයන කටයුතු සිදු කිරීමද අනතුරුදායකය. පීඨය ස්ථාපිත කරගැනීම සහ පීඨ ගොඩනැගිල්ල ඉදි කරගැනීම වෙනුවෙන් සිදු කරන ලද සිසු සටන් හමුවේ පරිපාලනය වසර ගණනාවක් තිස්සේ අසත්‍ය දින වකවානු ප්‍රකාශ කරමින් බොරු පොරින්දු ලබ දෙමින් තම වගකීම් වලින් පැන ගොස් තිබේ. 2013 වසරේ දෙසැම්බර් මස පීඨය විවෘත කරන බවට උපකුලපතිවරයා විසින් පොරොන්දු ලබා දුන් අතර මාස ගණනවක් ගතවී ඇතත් පීඨය විවෘත කිරීම තබා ගැසට් නිවේදනයවත් නිකුත් කිරීමට බලධරීන්ට මේ වන විටත් නොහැකි වී ඇත. මෙම මස 7වන දින පැවති උපකුලපති ශිෂ්‍ය සංගම් රැස්වීමේදී තවත් සති දෙකක උපරිම කාලයක් තුළ පීඨ ගැසට් නිවේදනය නිකුත් කරන බවට ප්‍රකාශයක් සිදු කර තිබේ. අදාළ සාකච්ඡාව පැවති දින සිට සති දෙකක කාල සීමාවක් තුළ  පීඨය පිලිබද ගැසට් නිවේදනය නිකුත් නොවුනහොත්  කළමනාකරණ පීඨය පේරදෙනිය තුළ ස්ථාපිත කරන තුරු අඛණ්ඩ ශිෂ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවට අනතුරු අගවමින් ලිපියක් යොමු කර තිබේ. විශ්වවිද්‍යාලය තුළ නව වන පීඨය ලෙස කළමනකරණ පීඨය ලබා දීම ප්‍රමාද කිරීමට සිදු කරනුයේ පීඨාධිපති ලෙස පත් කිරීමට උපකුලපතිවරයාට හෝ වත්මන් රජයට පක්ෂපාතී පුද්ගලයෙකු නොමැතිවීම බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි. පටු දේශපාලන අරමුනු ඉටු කරගැනීමට නිදහස් අධ්‍යාපනය කප්පදු කිරීම අතිශයින්ම පිළිකුල් සහගතය.